ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය EPF අරමුදලේ වංචාවන්ට එරෙහිව වෘත්තීය සමිති සන්ධානයේ සමිති පෙළ ගසයි.

EPF අරමුදලේ සිදුව ඇති රුපියල් ප්‍රකෝටි ගණනක මහා පරිමාන වංචාවට එරෙහිව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය ස්වාධීන වෘත්තීය සමිති සන්ධානයේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ ඊයේ (17) දින සවස පැවතී වර්ෂාව නොතකා මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ  හා අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක නිරත විය.

විරෝධතාවයේ ප්‍රධාන පරමාර්ථය වූයේ 2015 වසරේදී ඊට පෙර වසරට සාපේක්ෂව අර්ථසාධක අරමුදලේ ලාභය මහා පරිමාණයෙන් කඩා වැටීම, මෙවර අයවැයෙන් අරමුදල මත පනවා ඇති අධික බදු, EPF සාමාජිකයින්ට නිවාස ණය ලබා ගැනීමට අරමුදලේ ශේෂයෙන් 75% ක් දක්වා ණය ඇපකරයක් ලබා ගැනීමට ඇති අයිතිය, අරමුදලේ ආයෝජනයන් ද්වීතික මුදල් වෙළඳපොල හරහා සිදුකිරීමට සලස්වා අලාභ සිදු කරවීමට අමතරව ද්විතික මුදල් වෙළඳපොලෙන් EPF අරමුදල විසින් බැඳුම්කර මිලදී ගැනීමේදී රජය ඉතා කූට ලෙස තවත් අමතර බද්ධක් පැනවීම හා පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයට වාසි සහගත ලෙස කටයුතු කිරීමට ඉඩ හැර තිබීම ද ප්‍රමුඛ විය.

new1එමෙන්ම බැඳුම්කර මගඩිය පිළිබඳව විඝනකාධිපති වරයාගේ වාර්තාවේ මෙම ජාවාරම් හෙළි කිරීමට අමතරව, මේ සඳහා ඉඩ සැලසීම පිළිබඳව මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න සහගත බව දක්වා තිබීම මෙම අතිශය බියකරු තත්වය තවත් උත්සන්න කරයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය උද්ඝෝෂකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඔවුන් විසින් මෙලෙස EPF අරමුදල නැවත ගොඩ ගත නොහැකි ආකාරයේ මහා පරිමාන අලාභ සිදු කිරීමට ඉඩ හැර සිටීම සම්බන්ධයෙන් ඔවුන්ව පුද්ගලිකව නීතිය හමුවට පමුණුවා දඬුවම් කල යුතු බවද අවධාරණය විය. මෙම මහා පරිමාන මගඩිය හේතුවෙන් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වහා ඉල්ලා අස්විය යුතු බවද වෘත්තීය සමිති අවධාරණය කළහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ සභාපති චතුර සමරසිංහ සහෝදරයා පැවසුවේ මෙය ආරම්භයක් පමණක් බවත්, මෙම වංචාවට ඉඩ සලසා වගකීම් පැහැර හැරි මුදල් මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැති වූ ලාභ ඔවුන්ගෙන් නැවත අය නොකෙරෙන්නේ නම්,   නුදුරේදීම ලක් ඉතිහාසයේ සිදු වූ මේ මහා EPF මගඩියට සියලු EPF දායකයින් ද සහභාගී කරගෙන අරමුදල රැක ගැනීමට දැවැන්ත විරෝධතා හා සමාජ බලගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ආරම්හ කිරීමට තමුන් සූදානම් වෙමින් සිටින බවයි.

ස්වාධීන වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට පක්ෂ දේශපාලනයේ නොයෙදෙන ස්වාධීන රාජ්‍ය හා පුද්ගලික අංශ සමිති ගණනාවක්ම පොදු පන්ති හැඟිමකින් යුතුව සහභාවී සිටි අතර ලංකා වතු සේවා සංගමය, ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය, බැංකු සේවක සංගමය කැපී පෙනන දායකත්වයක් ලබා දී තුබුණි. එලෙසම බැංකු සේවක, තැපැල්, තටාක, තොරතුරු තාක්ෂණ සේවා, දුම්කොළ, ආහාරපාන කර්මාන්ත, හෝටල්, ටෙලිකොම්, දුම්රිය, රක්ෂණ යන ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති මෙම විරෝධයට සක්‍රීය දායකත්වයක් ලබා දී තිබුණි.

රජයේ නිල ඔත්තු සේවා නිලධාරීන්ද ඡායාරුප හා වීඩියෝ ගත කිරීම් සිදු කිරීම්වල නිරත වීමට අමතරව විරෝධයට තම සහයද හිමි වන බව සමිති නායකයින්ට අප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර, මෙම ප්‍රශ්නය සිය පවුලේ සාමාජිකයින්ට හා හිත මිතුරන්ට ඍජුව අදාළ වන නිසා මෙම සටන ඉදිරියට ගෙන යන මෙන් සංගම් නායකයින් දිරිමත් කිරීමට අමතරව අත් පත්‍රිකා ද කැමැත්තෙන්ම ඉල්ලාගෙන යනු දක්නට ලැබිණ.

new2